top of page

පසුගාමී ආර්ථික ප්‍රතිපත්තීන් හමුවේ ජාතික ජන බලවේගයේ මර්දනකාරී නීතින්, ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී එකමුතුව හෙළා දකින්නෙමු.

23.10.2026 

​

ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී එකමුතුව වන අපි, 2026 ඔක්තෝබර් මාසයේදී රජය විසින් යෝජනා කරන ලද මර්දනකාරී පණත්, විශේෂයෙන්ම මෑතකදී ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හෙළා දකින්නෙමු. අපරාධ සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයක සාධාරණ අරමුණක් වුවද, පෙර නොවූ විරූ ආකාරයෙන් දරිද්‍රතාව අපරාධකරණය කිරීමට, පොලිසියට පුළුල් බලතල පැවරීමට සහ ජනතාව සතු අධිකරණ බලය අත්පත් කර ගැනීමට අපගේ දැඩි විරෝධය මෙසේ පළ කරන්නෙමු.

 

මෙම නීති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සේවය කරන්නේ කාගේ අවශ්‍යතා වෙනුවෙන්ද යන්න, එහි සන්දර්භය වඩාත් සමීපව විමසා බැලීමෙන් හෙළිදරව් වන බව අපි විශ්වාස කරමු. ත්‍රස්තවාදය පිළිබඳ දක්ෂිණාංශික බලවේග විසින් පතුරුවනු ලබන බිය වැද්දීම් මත පදනම් වූ අධිකාරිවාදය, සංක්‍රමණිකයන්, සුළුතර ප්‍රජාවන් සහ දුප්පත් ජනතාව අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීම සහ ගෝලීය දකුණේ රටවල් දූෂිත හා විනයක් නොමැති රටවල් ලෙස හෙළා දැකීම අද ලොව පුරා දක්නට ලැබෙන ප්‍රවණතාවක් වන අතර එය ධනය සහ ධනය උත්පාදනය කරන ක්‍රියාවලීන් ආරක්ෂා කරන ගෝලීය ප්‍රවණතාවකි. එසේම, ධනවතුන්ට වාසි සැලසෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රමය සහ පරිසරය සූරාකෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත තුළ ඇති වන විරෝධය, අතෘප්තිමත්භාවය, අපේක්ෂාභංගත්වයෙන් ඇති වන අන්ත අසරණභාවය සහ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයේ ප්‍රබල පොලිස් බලතල සැමවිටම අවශ්‍ය වී තිබේ. වේගයෙන් ව්‍යාප්ත වන අපනයන අංශය, ඛනිජ කැණීම්, ඉඩම් විශාල වශයෙන් අවශ්‍ය වන හරිත සංක්‍රාන්තිය, මූල්‍යකරණය සහ අත්‍යවශ්‍ය පොදු සේවාවන් පෞද්ගලීකරණය කිරීම ආදියෙන් සනිටුහන් කරන්නේ සමාගම්වල ලාභ තෘෂ්ණාව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවනු ලබන බවයි.

 

රටේ දුප්පත් ජනතාවගේ සහ වැඩ කරන ජනතාවගේ ජීවිතයන් තුළ දිගින් දිගටම මෙම අර්බුදය උග්‍ර වෙමින් පවතින බව ඉතා පැහැදිලිව දැකගත හැකිය. අඩු වැටුප් අඛණ්ඩව පැවතීම, වැටුප් අහිමි කිරීමේ සිදුවීම් වැඩිවීම සහ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පවුල්වල ආර්ථික අනාරක්ෂිතභාවය අඛණ්ඩව පවතී. මේ හේතුවෙන් පවුල්වල ණය බර ඉහළ ගොස් ඇති අතර, කොල්ලකාරී මූල්‍ය ආයතන විසින් වැඩ කරන දුප්පත් ජනතාව සූරාකෑමට ද ලක් කරනු ලබයි. අස්ථාවර හා අනාරක්ෂිත අවිධිමත් රැකියා පුළුල් වී ඇති අතර, එහි ප්‍රතිවිපාකයක් ලෙස සේවා ස්ථානවල සිදුවන හිරිහැර කිරීම් සහ සූරාකෑම් ද ඉහළ ගොස් තිබේ. ජලය සඳහා ප්‍රවේශය, කෘෂි සහ ධීවර  කර්මාන්තය ආශ්‍රිත ජීවනෝපායන් මෙන්ම වතු හා කර්මාන්තශාලාවල සේවා කොන්දේසි කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් මෙම පීඩනකාරී තත්ත්වයන් තවදුරටත් උග්‍ර වී තිබේ. එහි ප්‍රතිවිපාකයක් ලෙස, දිගින් දිගටම ඇති වන දේශගුණික අර්බුදවලින් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරන පවුල් මත පැටවෙන ආර්ථික බර තවදුරටත් ඉහළ යයි. දෛනික ජීවන වියදම් පියවා ගැනීමට, රැකියා සුරක්ෂිතභාවයට සහ තම පවුලට ආහාර සැපයීම සඳහා ආදායම් මාර්ග කිහිපයක් සොයා ගැනීමට සිදුවීම නිසා ජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. මේ හේතුවෙන්, ඔවුන්ට අනිවාර්යයෙන්ම සංක්‍රමණික රැකියා කෙරෙහි යොමු වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ.  

 

ජනතා විරෝධී ආර්ථික ප්‍රතිපත්ති

 

සාමාන්‍ය ජනතාව තුළ උග්‍ර වෙමින් පවතින කලකිරීමේ පසුබිමක, අත්‍යවශ්‍ය සේවාවන් පෞද්ගලීකරණය කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති කඩිනම් කිරීමට ජාතික ජන බලවේගයේ රජය කැපවී සිටින අතර, ජනතාවට අහිතකර කොන්දේසි සහිත විදේශ ණය ලබා ගැනීම ද අඛණ්ඩව සිදු කරයි. ජාතික ජන බලවේගයේ රජය සහනාධාර ඉවත් කිරීම, රාජ්‍ය වියදම් පහළ මට්ටමක සීමා කිරීම සහ සමාජ ආරක්ෂණය ක්‍රමයෙන් දුර්වල කිරීම හරහා රාජ්‍ය කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ විධිවිධාන නොසලකා හරිමින්, ඛණිජ කැණීම්, සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘති, පාම් තෙල් වතු සහ විශේෂ ආර්ථික කලාප සඳහා වන මහා පරිමාණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයෙන් පෙනී යන පරිදි, රජය පෞද්ගලික විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මහා පරිමාණ ව්‍යාපාරික සමාගම්වල ග්‍රහණයට නතු වීම හේතුවෙන්, ජනතාවගේ යහපත බිලි දෙමින් ධනය රැස් කිරීම අරමුණු කරගත් ප්‍රභූ පන්තියක න්‍යාය පත්‍රය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසී තිබේ. ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ සහ දූෂණයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් මෙම ක්‍රියාමාර්ග ගනු ලබයි. මෙය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අන්ත අසරණභාවය පිළිබඳ මනා අවබෝධයක් ඇති, එසේම මහජන විරෝධතා සහ උද්ඝෝෂණ ඇතිවීම අපේක්ෂා කරන බලවේග විසින් මෙහෙයවනු ලබන ආර්ථික ප්‍රවණතාවකි. ඒ අනුව, රාජ්‍යය විසින්ම ‘සතුරෙකු’ නිර්මාණය කර, එම සතුරාට එරෙහිව ක්‍රියා කරනු ලබයි. ඒ අනුව, දුෂ්කරතා පිළිබඳව පැමිණිලි කරමින් රජයන්ට ඉල්ලා අස්විය යුතු බවට බලකරන මහජන විරෝධතාවල නිරත වන පුරවැසියන්, නිෂ්පාදන කටයුතු මන්දගාමී කරන වැඩවර්ජනවල නිරත වන කම්කරුවන් සහ විදේශ ආයෝජකයන්ගේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට විරෝධය පළ කරන පරිසර ක්‍රියාකාරීන් යන පිරිස් ‘සතුරාගේ’ භූමිකාවට ඇද දමනු ලබයි. ජනතා විරෝධී ආර්ථික න්‍යාය පත්‍ර සමඟ සෑම විටම පීඩාකාරී නීති ද ක්‍රියාත්මක වී තිබේ.

​

ජනතා විරෝධී නීති

​

ජාතික ජන බලවේගයේ රජය යටතේ ඉදිරිපත් කරනු ලබන සහ සම්මත කරනු ලබන මර්දනකාරී නීති සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය අපි දකිමින් සිටිමු. 2026 ඔක්තෝබර් මාසයේදී, 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීමට අපේක්ෂා කරන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත මඟින් ‘ත්‍රස්තවාදය’ යන්නට වඩාත් පුළුල් අර්ථ දැක්වීමක් යෝජනා කර ඇත. ඒ අනුව, සියලු ආකාරයේ දේශපාලන විරෝධතා, රැලි, උද්ඝෝෂණ සහ ‘යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බලපෑම් කරන’ ක්‍රියා ත්‍රස්තවාදය ලෙස සැලකීමට ඉඩ ඇත. මෙම පනත් කෙටුම්පත මඟින් පොලිසියට, සන්නද්ධ හමුදාවලට සහ වෙරළාරක්ෂක බලකායට පුළුල් බලතල පැවරීමට යෝජනා කර ඇත. එසේම, සංවිධාන තහනම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පෙර නොවූ විරූ බලතල ද, ප්‍රසිද්ධියේ සමාව අයැදීම හෝ වන්දි ගෙවීම වෙනුවට නඩු පැවරීම කල් දැමීමට ඉඩ සලසන සමථයන් ඇති කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට පෙර නොවූ විරූ බලතල ද ලබා දීමට යෝජනා කර තිබේ. තවද, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් අධිකරණයේ අධීක්ෂණය ද සීමා කරයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි, එවැනි නීති අත්තනෝමතික ලෙස හෝ නීතිවිරෝධී ලෙස භාවිත කරනු ලබන පුද්ගලයන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂණ විධිවිධාන හෝ යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ප්‍රවේශය සහතික කරන අර්ථවත් ක්‍රමවේද නොමැත.

 

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින්, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි අඩංගු බලතලවලට සමාන බලතල හඳුන්වා දෙන අතර, ඊට අමතරව, පොලිස් නිලධාරීන් ඉදිරියේ ලබා දෙන පාපොච්චාරණ අධිකරණයේදී භාවිත කිරීමට ද අවසර ලබා දෙයි. පාපොච්චාරණ සම්බන්ධ මෙම වගන්තිය, පාපොච්චාරණ ලබා ගැනීම සඳහා රැඳවියන් වධහිංසාවට ලක් කිරීමටත්, ඔවුන්ට කෲර හා අවමන් සහගත සැලකීම් සිදු කිරීමටත් හේතු වූ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අඩංගු එවැනිම වගන්තිය සිහිගන්වයි. පසුව, පුද්ගලයන් වරදකරුවන් බවට පත් කර ඔවුන්ට දඬුවම් නියම කිරීම සඳහා එම පාපොච්චාරණ එකම සාක්ෂිය ලෙස භාවිත කරන ලදී. එසේම, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද පුරවැසියන්ට මෙන්ම පුරවැසියන් නොවන පුද්ගලයන්ට ද අදාළ වේ. එම පනත් කෙටුම්පත යටතේ අපරාධ ලෙස අර්ථ දක්වා ඇති ක්‍රියාවලට සහභාගී වන පුද්ගලයන් ඊට යටත් වන අතර, එම අපරාධ ද නැවතත් ඉතා පුළුල් ලෙස අර්ථ දක්වා ඇත. එමඟින්, ‘ත්‍රස්තවාදය’ යන මූලික වරදට සෘජුවම සම්බන්ධ නොවිය හැකි ක්‍රියාවන් ද ඊට ඇතුළත් වේ.

 

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත මඟින්, එක්ව කටයුතු කරන පුද්ගලයන් පස් දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ඇතුළුව, සියලුම ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරකම් අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම, සමූහ අරමුදල් රැස් කිරීමේ (crowd-funding) ඕනෑම කටයුත්තක් පිළිබඳව දැනුම් දීම අනිවාර්ය කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීමේ වගකීමක් පැනවීම යෝජනා කර ඇත. තවද, තොරතුරු සැපයීමට අපොහොසත් වීම වැනි පරිපාලනමය වැරදි සහ අඩුපාඩු සඳහා රුපියල් මිලියනයක් දක්වා උපරිම දඩ මුදලක් නියම කිරීමට ද යෝජනා කර තිබේ. සමස්තයක් වශයෙන්, මෙම පනත් කෙටුම්පත මඟින් සංවිධානගත වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරයි.

 

2026 වසර තුළ පමණක් මෙම රජය විසින් ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්දනය කිරීමේ සම්මුතිය (සංශෝධන) පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (සංශෝධන) සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (සංශෝධන) සම්මත කර ඇත. මෙම පනත් මඟින් පෞද්ගලිකත්වයට නීත්‍යනුකූල පදනමක් මත මැදිහත් වීමට සහ රාජ්‍ය නිරීක්ෂණය සිදු කිරීමට ඉඩ සලසා ඇත. 2026 වසරේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මඟින් ප්‍රජා ඉතිරි කිරීම්, සකසුරුවම් ක්‍රමවේද ද බිඳ දැමෙන අතර, ණයගැතිභාවය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා අර්ථවත් ආරක්ෂණ විධිවිධාන හඳුන්වා දීමට ද එය අසමත් වීමත් ණයගැතිභාවයම සැලකිය යුතු සමාජ-ආර්ථික ප්‍රතිවිපාක ඇති කරන තත්ත්වයක් තුල මෙය සිදු වේ. මෙම නීති, දැනටමත් පවතින පීඩාකාරී නීතිමය පරිසරය මත අලුතින් එක් කරන ලද නීතිමය ස්ථරයන් වේ. එම පීඩාකාරී නීතිමය පරිසරයට මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත (Online Safety Bill), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR Act), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මහජන ආරක්ෂක ආඥාපනත වැනි නීති මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව විරෝධතාවල නිරත වන ජනතාවට එරෙහිව අඛණ්ඩව භාවිත කරනු ලැබ ඇති යටත්විජිත සමයේ සිට පැවත එන දණ්ඩනීය නීති රාශියක් ද ඇතුළත් වේ. මෙම සියලු නීතිවල සමස්ත අරමුණ සහ ස්වභාවය වන්නේ බලය තවදුරටත් සංකේන්ද්‍රණය කිරීම, ජනතාව පාලනය කිරීම සහ පුරවැසියන්ගේ ක්‍රියාකාරකම්වලට දඬුවම් පැමිණවීම සඳහා රාජ්‍ය නිලධාරීන් සතු බලතල පුළුල් කිරීමයි.

​

ජනතාවට සවන් දී, ගමන් මඟ වෙනස් කරන්න

 

සිස්ටම් චේන්ජ් නැතිනම් පද්ධතිමය වෙනසක් ඇති කිරීම සඳහා අතිවිශාල ජනවරමක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය රජයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙක තුළ, වික්‍රමසිංහගේ දෙවසරක පාලන කාලය තුළ පැවති පීඩාකාරී නීති සහ ජනතාව මත බර පටවන ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරය අපි දැක ඇත්තෙමු. සාමාන්‍ය ජනතාවගේ, විශේෂයෙන්ම මෙම බර වැඩි වශයෙන් දරා සිටින වැඩ කරන කාන්තාවන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් අස්ථාවර හා අනාරක්ෂිත තත්ත්වයකට පත් කරමින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දීමේ මාවත ජාතික ජන බලවේගය විසින් තෝරාගෙන ඇත.

 

ජනතාවට අහිතකර වූ සහ ඉදිරියටත් එසේම අසාර්ථක වනු ඇති ආර්ථික ප්‍රතිපත්ති සමඟින් මෙම සියලු පීඩාකාරී නීති එකින් එක ගොඩගැසීම අහඹු සිදුවීමක් නොවේ. ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් හෝ සාධාරණීකරණයක් නොමැතිව, මහජන මතය හෝ ප්‍රතිචාර පිළිබඳ සැබෑ සැලකිල්ලක් ද නොදක්වා, නීතිමය පරිසරය වෙනස් වෙමින් පවතින ආකාරය දැකීම මහත් බියක් සහ කනස්සල්ලක් ඇති කරයි.

 

1970 දශකයේ අගභාගයේදී, ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ දැඩි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ සමයේදී, අද පවතින තත්ත්වයට සමාන තීව්‍රතාවයකින් පීඩාකාරී නීති මාලාවක් (මහජන ආරක්ෂක ආඥාපනත, අත්‍යවශ්‍ය සේවා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) සකස් කර ක්‍රියාත්මක කළ අවසන් අවස්ථාව අපට සිහිපත් වේ.

 

ජාතික ජන බලවේග රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට අපි විරෝධය පළ කරමු. ඔබ බලයට පත් වූයේ විශේෂයෙන්ම සූරාකෑම සහ පීඩනය අවසන් කිරීම සඳහා ජනතාව ලබා දුන් ජනවරමක් මත බව අපි අවධාරණය කරන්නෙමු. ඔබ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සවන් දීමට අපොහොසත් වෙමින් සිටී. ආර්ථික ප්‍රතිපත්ති සහ පොලිස් බලතල හේතුවෙන් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවට ඇති වන ආපසු හැරවිය නොහැකි බලපෑම් තේරුම් ගැනීමට ද ඔබ අසමත් වී සිටී. ඔබට සහාය දක්වන ජනතාවට වඩා යහපත් ජීවිතයක් ලබා දෙන බවට පොරොන්දු වෙමින්, ඔවුන්ගේ යහපතටම එරෙහිව ක්‍රියාත්මක වන පීඩාකාරී ආයතනික ව්‍යුහයන් ගොඩනඟමින් සිටී. එසේම, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය යන නාමයෙන් ඔබගේ ක්‍රියාමාර්ග සේවය කරන්නේ ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා වෙනුවෙනි. මේ මොහොතේ හෝ ඔබේ ගමන් මඟ අප්‍රමාදව වෙනස් කරනු.

 

සමාප්තයි.

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක් වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.

කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න - feministcollectiveforjustice@gmail.com

©2022 by Feminist Collective for Economic Justice. Proudly created with Wix.com

bottom of page