top of page

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමේ තවත් උත්සාහයක් මධ්‍යයේ, ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමුහිකත්වය වන අපි, අපගේ නිසැක සහයෝගය සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට ලබා දෙමු. 
02.05.2026

2016 දී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රකාශ කිරීමේ සහතික නිකුත් කිරීම සඳහා වන පොදු චක්‍රලේඛය නිකුත් කරන ලදී. එනම් අංක 01-34/2016 චක්‍රලේඛය. මෙම චක්‍රලේඛය නිකුත් කිරීම, සහතික කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම සඳහා පසු විපරම් කිරීම යන වැඩපිළිවෙල එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්කරගත් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සදහන් කළ හැක. සමාජයේ සියලුම ව්‍යුහයන් විසින් අතහැර දමා තිබු සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට, මෙම චක්‍රලේඛය මගින් කුඩා නමුත් වැදගත් නෛතික අයිතියක් ලබා දෙමින් ඔවුන්ගේ සමාජභාවය තහවුරු කරන, රජය විසින් නිකුත් කරන ලද ලේඛන ලබා ගැනීමට හැකියාව සලසයි. වෛද්‍ය හා මනෝවිද්‍යා ක්ෂේත්‍රවල විශේෂඥයින් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් ද, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ සමාජභාවය තහවුරු කිරීම හා ඒ සදහා ඔවුන්ට සහය දීම මූලික අයිතියක් ලෙස පිළිගනු ලබන සන්දර්භයක් තුළ, මෙම නීතිමය පිළිගැනීම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට හිමි විය යුතු අවම අයිතියක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙම අවම අයිතිය දැන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුල අභියෝගයට ලක් කර ඇත. ඉහත චක්‍රලේඛය නීති විරෝධී යැයි අභියෝග කිරීමට උත්සාහ කරන විශ්‍රාමික ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සියලුම වගඋත්තරකරුවන්ට අධිකරණය නොතීසි නිකුත් කර ඇති අතර, නඩුව 2026 ජූලි 20 වන දින විභාග කිරීමට නියමිතය. මෙය දැනටමත් ආන්තිකකරණයට ලක්ව, සමාජ අපකීර්තියට සහ ආර්ථිකමය වශයෙන් අභියෝගයට ලක්ව සිටින සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තවදුරටත් දැවැන්ත ශාරීරික හා මානසික දුෂ්කරතාවන්ට ලක්කරන තත්වයකි. එසේම, මෙවන් තහවුරු වූ අයිතිවාසිකම් ආපසු හැරවීම කිසි විටෙකත් කිසිදු රටකට හොඳ පූර්වාදර්ශයක් නොවේ.

 

පසුගිය වසර කිහිපය තුළ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ එහි ප්‍රතිවිපාක, කෝවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය සහ මෑත කාලීන ගංවතුර ඇතුළු අවස්ථාවන් සමාජයේ බොහෝ ආන්තික කොටස්වලට දැඩි ලෙස බලපෑම් සිදු කොට ඇත. කම්කරු පන්තියේ සංක්‍රාන්ති පුද්ගලයින් ද එවන් ප්‍රජාවකි. සමාජ, සංස්කෘතික, පවුල්, ආර්ථික සහ නීතිමය වශයෙන් සහයෝගයක් නොමැති තත්වයක, මෙම ප්‍රජාවට අධ්‍යාපනය, රැකියා සහ රාජ්‍යය විසින් පිරිනමනු ලබන සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රවේශය අහිමි වී තිබේ. රාජ්‍යය, සමාජය සහ ඔවුන්ගේම පවුල් විසින් අතහැර දමන ලද මෙම ප්‍රජාවට අවිධිමත් අංශය තුළ දෛනික වැටුප් ලබන අවිධිමත් රැකියාවන්හි යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැත. රාජ්‍යයේ කප්පාදු පිළිවෙත, දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ආණ්ඩු විසින් දරිද්‍රතාවයට පිළියම් යෙදීමට අපොහොසත් වීම නිසා, මෙම ප්‍රජාව ණය බරින් සහ බලාපොරොත්තු සුන්වීමේ තත්වයන්ට ඇද දමා තිබේ. එදිනෙදා සමාජ අපකීර්තියට මුහුණ දෙන අතරම, දිළිදුකමේ යථාර්ථයන් හරහා ගමන් කිරීමට සිදු වීම වේදනාකාරී වේ.

 

ලිංගික සමජභාවී අනන්‍යතාවය මානව ගරුත්වයට මූලික වේ. ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට, විශේෂයෙන් කම්කරු පන්තියට සහ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසට, සමාජ අගතිය නිසාම ගෞරවාන්විතව ජීවත් වීමට නොහැකි වී තිබේ. මෙම සමාජ අගතියට හේතු වී ඇත්තේ සදාචාරාත්මක යැයි අදහස් කරන රාමූන් මගින් ප්‍රවර්ධනය කරන ලද අගතිය, මානව සංවේදනය නොමැතිකම, උසස් බව පිළිබඳ හැඟීම සහ වෙනස් ලෙස සැලකෙන අය කෙරෙහි ඇති බිය ද වේ.

 

ලිංගික අනන්‍යතාවය මත පදනම් වූ අගතීන් ප්‍රසාදයට ලක් කිරීම, පෙළගැස්වීම සහ දිරිගැන්වීම නතර කරන ලෙස අපි රාජ්‍යයෙන් ඉල්ලා සිටිමු. සියලුම පුද්ගලයින් සඳහා ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව, ලිංගික අනන්‍යතාවය නොසලකා සියලුම පුද්ගලයින්ට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. පුරවැසියන්ට සාමයෙන් හා ගෞරවයෙන් ජීවත් වීමට බලය ලබා දෙන ලිංගික සමාජභාවය හඳුනාගැනීමේ සහතික වැනි අවශ්‍ය සහ වැදගත් රාජ්‍ය පියවර ආරක්ෂා කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක් වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.

කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න - feministcollectiveforjustice@gmail.com

©2022 by Feminist Collective for Economic Justice. Proudly created with Wix.com

bottom of page