top of page

ක්ෂුද්‍ර මූල්‍ය රකුසා පරාජය කිරීමට  FCEJ  වෙතින් යෝජනාවලියක්
 

2025 වසර ඔක්තොම්බර් 17 වන දින

ජාතික ජන බලවේග රජය (NPP) පසුගියදා ඔවුන්ගේ පළමු වසර සම්පූර්ණ කළේය. කනගාටුවට කරුණ වන්නේ, නව රජය දැනටම බිම් මට්ටමේ යථාර්ථයන් සමඟ පැවතිය යුතු සම්බන්ධතාව නැති කරගෙන තිබීමයි. සභාග රජයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෑතකදී මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කුසගින්නෙන් පෙළෙන කිසිවෙකු පිළිබඳ කිසිදු තොරතුරක් ඔවුන් සතුව නොමැති බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශයන් කෙසේ වුවත්, බිම් මට්ටමේ කාන්තා කණ්ඩායම් සමඟ එක්ව වැඩ කරන අපගේ අත්දැකීම නම්, රජය විසින් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන දැඩි කප්පාදු ප්‍රතිපත්ති ජනතාවගේ ජීවිත විශාල පරිහානියකට පත්කර තිබෙන ඇති බවයි .

 

ජනතාව දුප්පත්කමේ සිර කළ, පෙර පැවති ආණ්ඩු ක්‍රියාත්මක කරන ලද නීති සහ ප්‍රතිපත්ති ඒලෙසටම ක්‍රියාත්මක කරමින්, ඇතැම් නීති සහ ප්‍රතිපත්ති සුළු වෙනස්කම් කොට නැවත ක්‍රියාත්මක කරමින්  රජය අනුගමනය කරන පිළිවෙත පිලිබදව අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. මේ අතරින් මහජන අදහස් විමසීම සඳහා නැවත වරක් ජනතාව ඉදිරියේ ඉදිරිපත් කර නොමැති, නව ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත, ජනතාවට මුහුණ දීමට සිදුවන අලුත්ම ගැටළුවයි.

 

දිනෙන් දින වැඩිවන ගෘහස්ථ ණය බර

 

ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය (FCEJ) අපට මුණගැසෙන ගෘහස්ථ ණය උගුලට ඇද වැටෙන බොහෝ දෙනෙකුගේ දෛනික යථාර්ථයන්ට ලේඛනගත කරයි. එය පවුල් ආහාර අනාරක්ෂිතභාවයට සහ මූල්‍ය විනාශයට ඇද දමයි. පවතින ආර්ථික අර්බුදය තුළ, ප්‍රමාණවත් ආදායම් නොමැතිකම, ජීවන වියදම වැඩිවීම සහ ඔවුන්ගේ ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් සඳහා රජයේ ආයෝජන අඩුවීම හේතුවෙන් බොහෝ පවුල් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හෝ අවිධිමත් ණය දෙන්නන් වෙත යොමුවී ඇත.

 

උතුරු පළාතේ, ප්‍රමාණවත් ආදායම් නොමැතිකම හේතුවෙන් දෛනිකව, අකැමැත්තෙන් උවද සතිපතා සහ මාසිකව ණය ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල පිහිට පැතීමට සිදුවී ඇත. මිනිසුන්ගේ කාලය, ශ්‍රමය සහ ආදායම් ආදී මේ සියල්ල ණය ලබා ගැනීමටත් ඒ ණය ආපසු ගෙවීමත්  යෙදවීමට සිදුවී ඇත.  කාන්තාවන්, බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රැස් කරගත් ඔවුන්ගේ කුඩා ඉතුරුම් සහ වත්කම්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට යෙදවීමට සිදුවීම හේතුවෙන් අහිමි වී තිබේ. ණය ලබා ගැනීමට සුදුසුකම් ලැබීම සඳහාම, මේ කාන්තාවන් ගම් මට්ටමේ ඉතුරුම් සහ ණය ලබා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකාවන් බවට පත්වේ. එමෙන්ම ණය සඳහා ඇපයක් ලෙස කුඩා ඉතුරුම් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව නිසා, ඔවුන් අවසානයේ මිතුරන්, ඥාතීන් සහ පොලියට ණය ලබා දෙන්නන්ගෙන් වැඩි මුදලක් ණයට ගැනීමට සිදුවී ඇත.

 

නැගෙනහිර පළාතේ, බොහෝ පවුල් දෛනික වැටුප් ලබන හා  සුළු ආදායමෙන් ජීවත් වීමට උත්සාහ කරන පවුල්ය. බොහෝ දෙනා ප්‍රමාණවත් රැකියාවක් සොයා ගැනීමටත්,  ගෘහාශ්‍රිත අවිධිමත් අංශයේ නිෂ්පාදනයන් කරමිනුත්  ආදායමක් උපයා ගැනීමට පොරබදී . මෙය  මූලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා මුදල් ණයට  ගැනීමට පවුල් යොමු  කරන කාරණාවක් වී  ඇත. මෙම ණය ආපසු ගෙවීමට නොහැකිව, කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් අධික පොලී අනුපාතවලට,  බොහෝ විට 40% කට වඩා වැඩි පොලියක් සහිත ණය ලබා ගෙන ඇත. කාන්තාවන්ට ආභරණ, වාහන, නිවාස සහ ඉඩම් වැනි වත්කම් අහිමි වී ඇත. බොහෝ දෙනෙක් තම ඉඩම් ඔප්පු ඇපයට තබා ණය ලබාගෙන ඇත. ණය බර නිසා ගෘහස්ථ හිංසනය මෙන්ම සෞඛ්‍ය ගැටලු වැඩි වී ඇති අතර සංවර්ධනය සඳහා ඇති අවස්ථා ද අඩු වී ඇත.

 

කාන්තාවන්ට, තමන් සහ තමන්ගේ දරුවන් කුසගින්නේ සිටිය දී  ණය වාරික ගෙවීමට සිදුවී ඇත. තාලංකුඩා නම් කුඩා ගම්මානයේ, නිවෙස්වල මන්දපෝෂණය දැක ගැනීමට හැකි විය. තමන්ටම කුඩා නිවසක් සාදා ගැනීම පිණිස ගත් ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා, සිය  දරුවන්ද  අතහැර දමා එක් කාන්තාවක් සියදිවි නසාගෙන තිබේ.  විශේෂිත අවශ්‍යතා සහිත දරුවෙකු සිටින තවත් කාන්තාවක්, ණය එකතු කරන්නන්ගේ තර්ජනවලට මුහුණ දීමට නොහැකිව සියදිවි නසා ගැනීමට උත්සාහ කළාය. එම අවස්ථාවේදී, ණය එකතු කරන්නන් නිතිපතා එම නිවසට ඇතුළු වී මුදල් ලබා දෙන තුරු පිටව යාම ප්‍රතික්ෂේප කළ අතර බොහෝ විට වාචික අපයෝජනයට ලක් වීමට ද, සමහර විට ශාරීරික බිය ගැන්වීම් වලට මුහුණ දීමට ද ඇයට  සිදු විය. සති කිහිපයකට ප්‍රථම, ණය මුදල් ලබා දෙන්නෙකු වාරිකය ආපසු ගෙවන තුරු ඇගේ ජාතික හැඳුනුම්පත මෙන්ම ඇගේ බැංකු කාඩ්පත ද බලහත්කාරයෙන් ලබා ගත් අතර, ඇයට ඇගේම බැංකු ගිණුමට ප්‍රවේශ වීමට නොහැකි තත්ත්වයක් ද ඇති විය.

 

කොළඹ, අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවල වසන කාන්තාවන් තම ආහාර සදහා මෙන්ම විදුලි සහ ජල බිල්පත් වැනි මූලික වියදම්, අධ්‍යාපන වියදම්  සපුරාලීමටත්  ඔවුන්ගේ නිවාසවල උකස් ගෙවීමටත්,  ණය ලබා  ගනී. ඔවුන්ගේ ජීවිත  නිතරම සිය පැවැත්ම සහ නිවාස නොමැතිකම නිසා අර්බුදයක සිටී. කනගාටුවට කරුණ නම්, එකින් එක, නැවත නැවත ණය ලබා ගැනීමේ පුරුද්ද මොවුන්තුළ ඉතා සාමාන්‍ය වීමය. එවැනි තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින්, පුද්ගලයින් හා ආයතන කෙටි පණිවුඩ සහ ජංගම දුරකථන යෙදුම් හරහා දිනපතා ණය ලබා දෙන ව්‍යාපාර ආරම්භ කර ඇත. ණය අයකර ගැනීමේ උපක්‍රම ලෙස, ණය ලබාගත් අයගේ දුරකථන අන්තර්ගතයට ප්‍රවේශය ලබා ගැනීම වැනි නින්දා සහගත  ක්‍රියාපිළිවෙත් භාවිත කරනු ලැබේ.

 

ණය උගුල

 

ඉහත අවස්ථා වලින් පෙන්නුම් කරන පරිදි, ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ සහ ධීවර ප්‍රජාවන්හි වේවා, නාගරික කම්කරු පන්තියේ වේවා, දුප්පත් කම්කරු පන්තියේ පවුල් ණය උගුලකට හසු වී ඇත. ගෘහ මට්ටමේ ආර්ථික අර්බුදය ගැඹුරු වන විට, පවුල් මූල්‍යමය වශයෙන් දුර්වල වේ. අඩු වැටුප්, මූල්‍යමය කප්පාදුව හේතුවෙන් ඇති වූ ඉහළ ජීවන වියදම් මෙන්ම රාජ්‍ය සහයෝගය ප්‍රමාණවත් නොවීම  සහ සූරාකෑමට එරෙහි රාජ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම යනාදිය වර්ධනය වෙමින් පවති.  එමෙන්ම මේ  තත්වයන් සූරාකෑම සිදුකරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා ඉතාමත් සුදුසු වාතාවරණයක්  නිර්මාණය කර ඇත.

 

මූලික අවශ්‍යතා සපුරාලීමට ඇති දැඩි අවශ්‍යතාවය හේතුවෙන්, කාන්තාවන් අසල්වැසියන් වෙත යොමු වන අතර ඉන් පසුව ඉතා ඉහළ පොළියට ගමේ ණය ලබාදෙන්නන්, Online සහ ජංගම දුරකථන ඔස්සේ දෙන ණය, රාජ්‍ය නොවන සංවිධාන, ස්වයං උපකාරක කණ්ඩායම්, සමුපකාර සහ රාජ්‍ය සමෘද්ධි යෝජනා ක්‍රමය ඇතුළු ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙත ද යොමු වේ. මෙම තත්වය තුළ, ස්වයං උපකාරක කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ සමුපකාර විසින් අඩු පොලී අනුපාත යටතේ විකල්ප ණය මාර්ග සහ වැඩසටහන් ආරම්භ කළ ද , එම ණය ලබාගෙන එය යොදවන්නේ බොහෝ විට වෙනත් සූරාකෑමේ ණය ගෙවීමට නිසා, අදාල ණය ක්‍රම ද අකාර්යක්ෂම උත්සාහයන් බවට පත්ව තිබේ.

 

ඉතා ඉහළ දෛනික සහ සතිපතා පොලී අය කිරීමේ ණය යෝජනා ක්‍රමවලට ඇපකරයක් අවශ්‍ය නොවුනත්, ණය ගෙවීමේදී ට තර්ජනය කිරීම, ශාරීරික හා වාචික අපයෝජනය, පවුලේ සාමාජිකයන් බිය ගැන්වීම, බැංකු කාඩ්පත්, අනන්‍යතාවය තහවුරු කරන ලේඛන, වත්කම් ආදිය ප්‍රාණ ඇපයට තබා ගැනීම මෙන්ම නින්දා කිරීම, බිය ගැන්වීම සඳහා දුරකථන සම්බන්ධතා වෙත ප්‍රවේශ වීම වැනි ක්‍රියාමාර්ගවලට යොමු වේ. සමහර සමාගම් ණය ගැණුම්කරුගේ දුරකථනයේ ඇති අනෙකුත් අංකවලට අමතා, ණය ගැණුම්කරු ඔවුන් ඇපකරුවෙකු ලෙස නම් කර ඇති බැවින්, ගැණුම්කරු වෙනුවෙන්  ආපසු ගෙවීමක් තිරීමට ඉල්ලා ඇති බව ද සඳහන් වේ. ණය ආපසු අයකර ගැනීමේදී අදාළ ආයතන විසින් මෙසේ පුද්ගලික සහ සමාජීය වශයන් හිංසනයන් සිදු  කරනු ලැබේ.

 

සමහර සමාගම් ඇතැම් කාන්තාවන්ගේ නිවාස ණය එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිතා කරයි. මෙම අය කිරීමේ කටයුතු භාරව කටයුතු කරන කාන්තාවට කුඩා කොමිස් මුදලක් ලැබුණද, එම කාන්තාව ද බොහෝ විට සිටින්නේ  දැඩි ණය බරකිනි. කාන්තාවන් කණ්ඩායම් බවට පත් කර ණය ලබාදෙන අතර, කණ්ඩායම් සාමාජිකයින් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් එකිනෙකා වගකිව යුතු බවට බල කෙරේ. එවැනි භාවිතයන් ප්‍රජාවන් තුළ දැඩි අස්ථීර සහ ගැටුම්කාරි තත්ත්වයක් ඇති කර ඇත. මෙවැනි තත්වයන් බොහෝ පවුල් වඩාත් අස්ථිර හා අසරණ කරන අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය කර්මාන්තය  සහ ධනපතියන් තව තවත් පොහොසත් කර ඇත.

කාන්තා හඬට කන්  නොදුන් ආණ්ඩුව

 

පසුගිය දශක කිහිපය තුළසිටම  කාන්තාවන් කොල්ලකාරී, පොළී අධික ණයවලට විරෝධය පළ කර ඇත. මඩකලපුවේදී, යුද්ධයෙන් විනාශ වූ ග්‍රාමීය ගම්මානවලට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ප්‍රවේශය නියාමනය කිරීම සඳහා මැදිහත් වන ලෙස කාන්තා කණ්ඩායම් දිසාපති තුමාගෙන් ඉල්ලා සිටියහ. 2018 දී උතුරේ, සමුපකාර සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව කාන්තා ව්‍යාපාර විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා පැවැත්විණි. පොළොන්නරුවේ හිඟුරක්ගොඩ දී, 2021 දී ක්ෂුද්‍ර මූල්‍යකරණය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සාමූහිකය විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් මෙහෙයවන ලදී.

 

2016 දී, නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය සපයන්නන්ගේ වර්ධනයට ප්‍රතිචාරයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය පනත අංක 6 ක්‍රියාත්මක ලදී. කොල්ලකාරී, අධික පොළී සහිත භාවිතයන්, දුප්පතුන් සූරාකෑම සම්බන්ධ ප්‍රධාන ගැටළු බොහොමයක් විසඳීමට මෙම පනත අසමත් වූ අතර,  එය ඉතා ලිහිල් නියාමනයක් විය. මෙහි, ක්ෂුද්‍ර මූල්‍යකරණයේ වර්ධනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත සීමා කිරීමේ කටයුත්ත යම් දුරකට ඵලදායී විය.

 

2024 වසරේ ජනවාරි මාසයේදී, අන්තර්කාලීන රජය විසින් 'ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය අධිකාරී නියාමන' පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. විශාල මූල්‍ය සමාගම් නියාමනය කිරීමට සහ හානිකර භාවිතයන් ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් විය. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථා විරෝධී බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් එය සම්මත කළ හැකි බවත් අධිකරණය තීරණය කළේය. අධිකරණයේ තීරණයෙන් පසුව, මුදල් අමාත්‍යාංශය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත්තේය.

 

ඉන් අනතුරුව, ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත සමාලෝචනය කිරීමට සහ සියලු මට්ටම්වල මහජන උපදේශන ලබා ගැනීම සඳහා සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. කෙසේ වෙතත්, මහජන උපදේශන කිසිවක් සිදු නොවීය. සමාලෝචන ක්‍රියාවලියේදී, ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයෙකු ද, ප්‍රජා ණය සපයන්නන් නියෝජනය කරන පුද්ගලයින් දෙදෙනෙකුට ද, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයින් නියෝජනය කිරීමේ කාර්යය භාර විය. ඔවුන් පනත් කෙටුම්පතේ මූලික රාමුවට විරුද්ධ වූ අතර අර්බුදය සහ අවශ්‍ය ප්‍රතිපත්ති මෙන්ම නියාමන විසඳුම්වල ස්වභාවය තේරුම් ගැනීමට නව ප්‍රවේශයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

 

ඔවුන්ගේ එම ඉල්ලීම් නොසලකා හරිමින්, 2025 අගෝස්තු මාසයේදී, ජාතික ජන බලවේග  රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී. මෙම ප්‍රකාශය නිකුත් කරන අවස්ථාවේදී, පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා විය. කෙසේ වෙතත්, එවැනි පනත් කෙටුම්පතක් තවමත් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියෙන් සමාලෝචනය සඳහා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.

 

රජය මේ  පිළිබද යථාර්ථය අවබෝධ කරගැනීමට අපොහොසත් වුවද, ලෝක බැංකුව පවා පිළිගෙන ඇත්තේ “රාජ්‍ය මූල්‍ය පිළිවෙත, රැකියා සහ ආදායම් අහිමිවීම් සමඟ දිගටම පොරබදමින් සිටින දුප්පතුන්ට අසමානුපාතිකව බලපා ඇත… ආර්ථික අර්බුදය සමග වැටුප් තවමත් යථා තත්ත්වයට පත් වී නොමැති තත්ත්වයක, ආහාර මිල ගණන් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් බොහෝ පවුල් පුද්ගල දියුණුව සඳහා වන වියදම්, විශේෂයෙන් පෝෂණය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ආදිය සඳහා වන වියදම් අඩු කර ඇත.” කෙසේ වෙතත්, ලෝක බැංකුව ද ගෘහස්ථ ණය ඉහළයාම , සාගින්න වැඩිවීම සහ රජයේ මූල්‍ය පිළිවෙත අතර හේතුකාරකය නොසලකා හරිමින්, අසාර්ථක නිර්දේශ ඉදිරිපත් කරමින්, තවදුරටත් කටයුතු කරයි.

 

අපගේ ඉල්ලීම්

 

  • රජය විසින් මෙහෙයවනු ලබන සාධාරණ ණය සහන වැඩසටහනක් ආරම්භ කිරීම සහ අවශ්‍ය අදාළ ප්‍රතිපාදන රජයේ ඉදිරි අයවැයට ඇතුළත් කිරීම. ගෘහස්ථ ණය සඳහා ණය සහන අවලංගු කිරීමේ වැඩසටහනක් නොමැතිව ක්‍රියාත්මක කරනු ලබන ඕනෑම සමාජ සුභසාධන හෝ විකල්ප වැඩසටහනක් අර්ථ විරහිත වේ.

  • ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෘහස්ථ ණයවල බලපෑම පිළිබඳ ජාතික දත්ත රැස් කිරීම; සියදිවි නසාගැනීම් සහ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රමාණය නිරීක්ෂණය කිරීම, ඉහළ යන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ පෝෂණ මට්ටම් කෙරෙහි ඇති බලපෑම සහ වත්කම් අහිමි වීම ඇතුළුව.

  • සමෘද්ධි වැඩසටහන සමාලෝචනය කර ශක්තිමත් කළ යුතු වන අතර ඊට සමෘද්ධි බැංකුවේ කාර්යභාරය ද ඇතුළත් කළ යුතුය. බැංකුව  තවත් ණය යෝජනා ක්‍රම හදුන්වා දීමට වඩා දුප්පතුන්ගේ ඉතිරිකිරීම් වඩාත් අර්ථවත් ආකාරයෙන් භාවිතා කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුය. අස්වැසුම යෝජනා ක්‍රමයේ අසාර්ථකත්වය රජය පිළිගෙන, එය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.

  • ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම හා සම්බන්ධ කොල්ලකාරී, අධික පොළී සහිත සහ සූරාකෑමේ පිළිවෙත් ආමන්ත්‍රණයට නව නීති සම්පාදනය කළ යුතුය. වික්‍රමසිංහ - රාජපක්ෂ රජය විසින් යෝජනා කරන ලද පනත් කෙටුම්පතේ එවැනි පිළිවෙත් තහනම් කිරීම පිළිබඳව කිසිදු පැහැදිලි සඳහනක් කර නොමැත. පොළී අනුපාත සීමාවන්, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ප්‍රවේශය සහ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙන්ම ශක්තිමත් පාරිභෝගික ආරක්ෂණ පිළිවෙත් ආදිය මඟින් ප්‍රචණ්ඩත්වය සහ සූරාකෑම මැඩපැවැත්විය හැකිය.

 

  • ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ සිදුවීම්වල ආරවුල් විසඳීමේදී සමථ මණ්ඩල අධික බරක් දැරීමට සිදුවන තත්ත්වයක් පවතී. ගැටලුවේ දැවැන්තකම සහ සදාචාරාත්මක මෙන්ම මානුෂීය සලකා බැලීම් කේන්ද්‍රගත කර ගනිමින්, සාධාරණ ලෙස ප්‍රතිචාර දැක්වීමට සහ මානුෂීය විකල්ප ලබා දීමට හැකි වන පරිදි සමථ මණ්ඩල තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

 

  • බොහෝ ශ්‍රී ලාංකික පවුල් වලට පීඩා කරන ආර්ථික අර්බුදයේ සහ කප්පාදුවේ බලපෑම රජය පිළිගත යුතු අතර ඔවුන්  තවදුරටත් ණයගැතිභාවය තුළ සිටීමෙන් වැළැක්වීම සඳහා දේශීය ආර්ථික පුනර්ජීවනය අරමුණ කරගත් වැඩසටහනක් ආරම්භ කළ යුතුය.

රජය විසින් ප්‍රතිපත්ති පනවන අවස්ථාවේදී ජනතාවගේ මූලික අපේක්ෂාව වන්නේ, එම වෙනස්කම්වලින් බලපෑමට ලක් වූ අය සමඟ, විශේෂයෙන් කාන්තාවන් ගේ අදහස් විමසීමයි. ඔවුන්ගේ අත්දැකීම් සම්පූර්ණයෙන් හඳුනා නොගන්නා, ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල කොල්ලකාරී ක්‍රියාවන් ඵලදායී ලෙස නියාමනය නොකරන සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාප්තිය සීමා නොකරන නීති, ශ්‍රී ලංකාවේ ජනතාවගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිතවලට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන බව අපගේ විශ්වාසය යි.

Kamala Vasuki Art.jpg

නිර්මාණ කතෘ කමලා වාසුකී (2019)

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක් වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි. කරුණා කර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න - feministcollectiveforjustice@gmail.com

©2022 by Feminist Collective for Economic Justice. Proudly created with Wix.com

bottom of page