top of page

​ආපදා කෙරෙහි සූදානම, සහන ලබා දීමේ සාධාරණත්වය සහ ආර්ථික යුක්තිය සඳහා ආන්තික ප්‍රජාවන්ට ප්‍රමුඛතාවය දෙන ලෙස FCEJ තීව්‍ර ලෙස ඉල්ලා සිටී.

දෙසැම්බර් 1 වන් දින, 2025

දින ගණනාවක් පුරා අඛණ්ඩ වැසි සහ සුළං ඇද හැලෙමින් දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වී, ගොඩබිමට විශාල විනාශයක් ඇති කෙරිණි. මෙම ප්‍රකාශය ලියන අවස්ථාව වන විට, පුද්ගලයින්  355 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදහන් වී සිටීම කණගාටුවට කරුණකි. නිවාස 15,000 ත් 25,000 අතර ආසන්න සංඛ්‍යාවක් හානි වී ඇති අතර පවුල් 59,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇත.

 

වැඩිම ජීවිත හානි වාර්තා වූයේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වන අතර, මෙම ප්‍රදේශ විශේෂයෙන්ම නායයෑම් වලට ගොදුරු වන සහ දැනටමත් ආන්තික හා අවදානමට ලක් වන කම්කරු පන්තියේ තේ වතු කම්කරුවන් ජීවත් වන ප්‍රදේශ වේ. බොහෝ දිස්ත්‍රික්කවල විදුලි සංදේශ මාර්ග අක්‍රිය වී ඇති අතර, ජනතාවට උදව් ඉල්ලා සිටීමට මාර්ගයක් නොමැතිව සිටියි. නොවැම්බර් 28 වන දින හදිසි තත්වයක් (අතිකාරී තත්ත්වය) ප්‍රකාශයට පත් කරන ලදී. වෙහෙස නොබලා වැඩ කරන පළමු ප්‍රතිචාර දක්වන්නන් සහ ප්‍රජා නායකත්වයෙන් යුත් ස්වේච්ඡා කණ්ඩායම් රැසක් සහන සේවාවන් හි යෙදී සිටී. කෙසේ වෙතත්, පවතින තත්වයන් මත, මනුෂ්‍යයන් කෙරෙහි ඇති බලපෑම සහ මරණ සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

තොරතුරු, විනිවිදභාවය සහ සම්බන්ධීකරණය නොමැතිකම නිසා වඩාත් අවදානමට ලක්වී ඇති ප්‍රදේශවල ප්‍රජාව කිසිදු උදව්වක් නොමැතිව සිරවී වී සිටී. 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ කැපවූ ආපදා කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක වුවද, මෙම පද්ධති වල නිසි සූදානමක් නොවූ බව පෙනී යයි. බොහෝ අවස්ථා වලදී ඉවත් වීමේ නිවේදන නිකුත් කරන ලද්දේ, මාර්ග ජලයෙන් යටවීමෙන් පසුව වන අතර, එයද යටිතල පහසුකම් සහ ජනතාවට විශ්වාසයෙන් යුතුව නවාතැන් වෙත යාමට අවශ්‍ය සහාය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැතිව ය.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ නිල සන්නිවේදනයන්, සිංහල භාෂාවෙන් නිකුත් කෙරුණු අතර, ප්‍රධාන වශයෙන් දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශ වල පවා සිංහල භාෂාවෙන් සන්නිවේදනයන් නිකුත් කෙරුණාය. මෙවන් අති හදිසි තත්වයකදී පවා ආයතනික ජාතිවාදයේ පෙරනිමි ක්‍රියාකාරකම් තුලට රිංගා ඇත. පුහුණුව ලත් සහ සන්නද්ධ සිවිල් ආපදා කළමනාකරණ කාර්ය මණ්ඩලයක් නොමැතිකම හේතුවෙන්, මෙවන් අවස්ථා වලදී හමුදාව මත යැපීමට සිදුවේ. ක්‍රියාත්මක වන සියලුම ගලවා ගැනීමේ උත්සාහයන් සහ මානුෂීය මෙහෙයුම් පිළිගන්නා අතරම, අනාගතයේදී ඒ සඳහා සිවිල් පද්ධති වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවය අපි සටහන් කරමු.

 

ආන්තික ප්‍රජාව කෙරෙහි බලපෑම

දැනටමත් ආන්තිකකරණයට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මෙම ව්‍යසනයෙන් වඩාත් පීඩාවට පත්ව සිටී. අඩු ආදායම්ලාභී සහ කම්කරු පන්තික පවුල් මෙහි බර දරති. ධීවර කර්මාන්තයෙන් යැපෙන පවුල්වලට ධීවර කටයුතු සඳහා යාමට නොහැකි වී ඇත; ආහාර සැකසීම, කුඩ විවීම, කුළුබඩු ඇසුරුම් කිරීම, මැහුම් වැනි ගෘහස්ත ජීවනෝපායන් ඇති අයට, ප්‍රවාහනයට සහ වෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති බාධා හේතුවෙන් මුදල් උපයා ගත නොහැක. කෘෂිකර්මාන්තය මත යැපෙන අයට ඔවුන්ගේ මුළු අස්වැන්නම අහිමි වී ඇත.

 

නිදහස් වෙළඳ කලාප සේවකයින්ටද මෙය අහිතකර ලෙස බලපා ඇත. කාර්මික අපද්‍රව්‍ය ඉවතලන ඇළ මාර්ගවල සහ ඒ අවට ජීවත් වන සහ වැඩ කරන කම්කරුවන් පිරිහෙන ජල සුරක්ෂිතතාවය සහ දැඩි සනීපාරක්ෂක අවදානම් වලට නිරාවරණය වී සිටි. මෙම අතිශය භයානක තත්වයන් යටතේ පවා කම්කරුවන්ට වැඩ කිරීමට බල කෙරෙමින් තිබීම, මහත් කම්පනයකි.

 

වතු කම්කරුවන්ට නිවාස, ආදරණීයයන් අහිමි වී ඇති අතර එකිනෙකට සමීපව සිදුවන නායයෑම් සමඟ සටන් කරමින් සිටින ඔවුන්ට සුරක්ෂිත වීමට කිසිඳු ඉඩක් ඉතිරි වී නොමැත. කාන්තා සේවිකාවන්ට, විශේෂයෙන් ගෘහ සේවිකාවන්ට, ඔවුන්ගේ නිවාසවලට ව්‍යුහාත්මක හානිවලට විසඳුම් සෙවීමට අමතරව, රැකියාවට යාම සහ රැකවරණ කටයුතුවලට සහභාගී වීම අතර ඉතා අසීරු තේරීමක් සිදු කිරීමට වේ.

 

අඩු ආදායම්ලාභී සහ කම්කරු පන්තියේ කුටුම්භ කෙරෙහි ඇති වන බලපෑම කෙටි කාලීන නොවේ, මන්ද මුළු කන්නයේම නිෂ්පාදනවල ආදායම අහිමි වන අතර යටිතල පහසුකම් සහ උපකරණවලට සිදු වී ඇති හානිය ප්‍රතිස්ථාපනය කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇත.

 

දුප්පත් සහ කම්කරු පන්තික ප්‍රජාවන් සමඟ, අනෙකුත් ආන්තික කණ්ඩායම් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට ලක් ව ඇත. සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්, විශේෂයෙන් පවුලේ සහයෝගය නොමැතිව ජීවත් වන හෝ අනාරක්ෂිත නිවාසවල ජීවත් වීමට සිදු වී ඇති අය, ව්‍යසනකාරී අවස්ථාවන්හිදී නොසලකා හරිනු ලැබේ. නවාතැන් සහ ආරක්‍ෂිත ස්ථාන වෙත ප්‍රවේශ වීම අභියෝගාත්මක වන අතර බොහෝ විට එය කළ නොහැක්කක් වන්නේ, ඔවුන් කැමති ලිංගික අනන්‍යතාවය/නම තහවුරු කරන හැඳුනුම්පත් ලේඛන නොමැතිකම ඇතුළු බොහෝ හේතු නිසා ය. එවැනි බාධක සමඟ, සමාජ අපවාද හේතුවෙන් ද, බොහෝ දෙනෙක් ලබා දෙන සීමිත සහයෝගය සඳහා පොරබදමින් සිටින අර්බුදවලදී මෙම කණ්ඩායම ඉතා පහළම මට්ටමට වැටී ඇත.

 

ආබාධ සහිත පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන්, රජයේ ඉවත් වීමේ නිවේදන සමඟ අපහසුතාවයට පත් වන්නේ, කෘතිම අත් පා හෝ රෝද පුටු ඇති පුද්ගලයින්ට හෝ ගංවතුර ජලය, නායයෑම් සහ සුළි සුළං හරහා යාමට අපහසු දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයින්ට කිසිදු සංවේදීතාවයක්, දැනුවත්භාවයක්, හෝ සැපයුම් සහායක් නොමැතිව නිවේදන නිකුත් කිරීම හේතුවෙනි. ආබාධ සහිත පුද්ගලයින් සඳහා කිසිදු ආරක්‍ෂිත ස්ථානයක මූලික පහසුකම් - වැසිකිළි සහ වෙනත් ප්‍රවේශයන් - නොමැත. ආබාධ සහිත පුද්ගලයින්ට තාවකාලික ආරක්‍ෂිත ස්ථාන වෙත ළඟා වීමට හැකි වුවද, ඔවුන්ට සහනාධාර සඳහා පොර බැදිය නොහැකි බව අතීත අත්දැකීම් වලින් අපි දනිමු.

 

පශ්චාත් ආපදා සන්දර්භයන් තුළ, බොහෝ විට ගෘහස්ථ හා ලිංගික හිංසනයේ වැඩි වීමක් දක්නට ලැබේ. පවතින ක්ෂණික දුරකථන අංක රජය විසින් ප්‍රචාරය කර ඇතත්, වැඩිවන ඉල්ලුමට මුහුණ දීමට ඔවුන් සන්නද්ධ නොවේ. හදිසි සහාය ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවන් හරවා යවන ලද්දේ ප්‍රතිචාර ව්‍යුහයන්ගේ සූදානමක් නොමැති බව පෙන්වමිනි.

 

කාන්තාවන් අසමාන ලෙස ගෘහස්ථ සූදානමේ බර උසුලන්නේ - අඩු ස්ථිරත්වයකින් යුතු ව්‍යුහයන් තුල සිටීමේ දුෂ්කරතා ආමන්ත්‍රණය කිරීම, ආහාර සොයා ගැනීම, ඉවත් වීමට සූදානම් වීම, වැඩිහිටියන්, රෝගීන් සහ බාලයන් රැකබලා ගැනීම, අසල්වැසියන්ට සහ නෑදෑයන් ට සහයෝගය දැක්වීම, පුද්ගලික දේපළ ආරක්ෂා කිරීම සහ බිය සහ කාංසාව සඳහා - ඔවුන්ගේම සහ අන් අයගේ - ඉඩ ප්‍රස්ථාව සලසා දීම වැනි කරුණු මධ්‍යයේය. එහෙත් හදිසි මනෝ සමාජීය සහයෝගයක් නොමැති අතර, අභියෝග වලට මුහුණ දීමට හා නැවත නැගිටීමට උපකාරී වන යාන්ත්‍රණයන් ගොඩනැගීමට ප්‍රජාවන්ගේ එකතු වීමක් සිදු නොවේ.

 

දුප්පතුන් අන්තිකරණයට ලක්  කරන ආර්ථික ව්‍යුහය හේතුවෙන්, දේශගුණික අර්බුදය තවදුරටත් උග්‍ර වේ. අවදානමට ලක්විය හැකි සහ ආන්තිකකරණය වූ ප්‍රජාවන් සඳහා දිගුකාලීන ආරක්ෂණ සැලසුම් ස්ථාපිත කිරීමට අපොහොසත් වීම මෙවැනි කාලවලදී තියුණු ලෙස දෘශ්‍යමාන වේ. වසරක් ඇතුළත, අපි දේශගුණික විපත් තුනකට මුහුණ දී ඇත්තෙමු - ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නිවර්තන කුණාටුව ‘ෆෙන්ගල්’, මේ වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල ‘මොන්තා’ සහ දිට්වා සුළි කුණාටු වේ. නායයෑම් ඇති විය හැකි කඳු, ගංවතුරට ලක්විය හැකි පහත් බිම් සහ ගංගා ඉවුරු/ඇළ මාර්ග වැනි අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල දුර්වල, නිරාවරණය වූ ව්‍යුහයන්හි ජීවත් වීමට සිදුවන්නේ බොහෝ දුරට දරිද්‍රතාවය සහ ඉඩම් නොමැතිකම හේතුවෙනි.

 

නිවාසකරණයේ අසමානතාවයන් සමාජ-ඓතිහාසික සහ ක්‍රමානුකුල වේ. ජීවනෝපාය, ප්‍රවාහන හා සෞඛ්‍ය, යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය සහ සමාජ අපකීර්තියට අදාළ මෙම අසමානතාවයන්ට අමතරව, ජනතාවගේ අනාරක්ෂිතභාවයන් ව්‍යුහාත්මක හා යටිතල පහසුකම් මත වන බව පැහැදිලිය.

 

ප්‍රතිපත්ති ප්‍රමුඛතා

මෙම සන්දර්භය තුළ, 2026 අයවැයෙන් පිළිබිඹු වන NPP රජයේ ප්‍රතිපත්ති නැවතත් සමාජ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට අපොහොසත් වීම ගැන අපි කලකිරීමට පත්ව සිටිමු. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇති පරිදි, සමාජ ආරක්ෂණයෙන් ජනතාව කපා හැරීම හෝ මුල්‍යමය ආධාර ලබා ගැනීම හිඟමනක් ලෙස විස්තර කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජනතාවගේ අවශ්‍යතා අතර විසන්ධි වීම පෙන්නුම් කරයි. සමාජ ආරක්ෂණ වැඩසටහන් යනු දරිද්‍රතාවය පිටුදැකීම පමණක් නොවේ. එය සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත යාන්ත්‍රණයකි. විශ්වීය සමාජ ආරක්ෂාව දේශගුණික විපත්වල පහර යම් දුරකට මෘදු කළ හැකි අතර මෙවැනි කාලවලදී සමාජ ආරක්ෂණ යාන්ත්‍රණ විශ්වීය වීමේ අවශ්‍යතාවය පැහැදිලිව ඔප්පු වී ඇත. විශ්වීය සමාජ ආරක්ෂණය, ආපදා සූදානමේ සහ පශ්චාත් ව්‍යසන ආර්ථික හා සමාජීය ගොඩනංවීමේ කොටසක් ලෙස සැලකිය යුතුය. මෙමගින් නැවත නැගී සිටීමේ යාන්ත්‍රණ තුලදී, රාජ්‍ය සහ පුරවැසියන් අතර තිරසාර හා විශ්වාසදායක සම්බන්ධතාවයක්, මෙම පද්ධති හරහා ගොඩනැගෙනු ඇත. සමාජ ආරක්ෂණ යාන්ත්‍රණ සෞඛ්‍ය සේවා පහසුකම්, ආහාර සහ පෝෂණ වැඩසටහන්, දේශගුණික-ප්‍රතිරෝධී නිවාස සහ ජීවනෝපායන් සඳහා අනුවර්තනය වීමේ මූල්‍යකරණය වැනි තීරණාත්මක යටිතල පහසුකම් වෙත ප්‍රවේශය සහතික කරයි.

 

පසුගිය දින කිහිපය තුළ අපි ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල ද විනාශකාරී ස්වාභාවික විපත් දැක්කෙමු. ගෝලීය ණය බර දේශගුණික අර්බුදය තුලින්ද පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල දුබල උරහිස් මත අසමාන බරක් එමගින් පැටවේ. ආර්ථික අර්බුදයෙන් සහ ජීවන වියදම් ඉහළ යාමෙන් ජනතාව යන්තම් ජීවිතය ගැටගසා ගන්නා අතර, කුටුම්භවලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් දැඩි ලෙස ණය බරින් මිරිකී සිටිති.

 

එහෙයින්, ඔවුන්ගේ ආර්ථික ප්‍රමුඛතා, අඛණ්ඩ අමානුෂික කප්පාදු ප්‍රතිපත්ති සහ දැඩි ණය ආපසු ගෙවීමේ කැපවීම් සමාලෝචනය කිරීමේදී, රජය මෙම යථාර්ථය සැලකිල්ලට ගත යුතුය.

දේශගුණික විපත් වල බලපෑම් සහ වැඩිවන ණය බර අතර විය හැකි හේතු සම්බන්ධතාවය පැහැදිලිව පෙනී යයි. NPP රජය ඉදිරි මාසවලදී IMF සහ අනෙකුත් ණය දෙන්නන් විසින් නියම කරන ලද කොන්දේසි නැවත සාකච්ඡා කළ යුතු බව, FCEJ ලෙස අපි තරයේ අවධාරණය කරමු. ජාතිය මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට අරගල කරන විට රජය සිට ගත යුත්තේ තමන්ගේ ජනතාව සමග මිස එහි ණයහිමියන් සමඟ නොව.

 

හැකි ඉක්මනින් අවධානය යොමු කළ යුතු ඉල්ලීම්:

  • මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම දැනටමත් ආන්තිකකරණයට ලක්ව ඇති අය කෙරෙහි සංවේදී විය යුතුය. ගොඩනැගිලි, විශේෂයෙන් තාවකාලික ආරක්‍ෂිත ස්ථාන ලෙස භාවිතා කරන පාසල්, පිරිසිදු ජලය, පිරිසිදු වැසිකිළි, ඉවුම් පිහුම් සහ ආහාර ගැනීමේ පහසුකම්, මව්වරුන්ට පෝෂණය කිරීම සඳහා ආරක්ෂිත ඉඩක් සහ ආබාධිත ප්‍රවේශය ඇතුළුව විශාල පිරිසකට සහාය වීම සඳහා සන්නද්ධ විය යුතුය.

 

  • ආපදා සහ සහන සම්බන්ධ සියලුම රාජ්‍ය සන්නිවේදනයන් සියලු භාෂාවලින් සිදු විය යුතුය.

 

  • ආපදා ප්‍රතිචාර සහ සහන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ප්‍රජාවන් සම්බන්ධ කර ගත යුතුය, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්. සියලුම රාජ්‍ය සහ ප්‍රජා මට්ටමේ තීරණ ගැනීමේ ආයතනවල අවම වශයෙන් 50% කාන්තා නියෝජිතයින් සිටිය යුතුය.

 

  • නැවත ස්ථාපිත කිරීම, නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් කාන්තාවන්, අවිධිමත් සේවකයින්, ඔවුන්ගේ පවුල් සහ ආබාධ සහිත පුද්ගලයින් කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගත යුතුය.

 

  • LGBTQIA+ ප්‍රජාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් වැනි සමාජීය වශයෙන් අපවාදයට පත් වූ හෝ සමාජයේ නොපෙනෙන ප්‍රජාවන් සඳහා විශේෂ ආධාරක මාර්ග ලබා දෙන්න. මෙම ආධාරක මාර්ගවල මෙම ප්‍රජාවන්ගේ අවශ්‍යතාවලට සංවේදී නිලධාරීන් සිටිය යුතුය.

 

  • සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා ආරක්ෂාව ආමන්ත්‍රණය කිරීම සඳහා විශේෂ ආධාරක මාර්ග කඩිනමින් සක්‍රීය කළ යුතුය.

 

  • කාන්තාවන්, තරුණයින්, ආබාධිත උපදේශකයින්, වතු කම්කරුවන් සහ ප්‍රාදේශීය පළමු ප්‍රතිචාර දක්වන්නන් විසින් මෙහෙයවනු ලබන ස්ථිර ග්‍රාම නිලධාරි මට්ටමේ ආපදා සූදානම් කමිටු ස්ථාපිත කරන්න.

 

  • විදුලිය සහ සන්නිවේදන ජාල අක්‍රිය වූ විට පවා කාලෝචිත අනතුරු ඇඟවීම් සහතික කිරීම සඳහා  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන සයිරන් සහ මෙගාෆෝන් නිවේදන පද්ධති ස්ථාපිත යුතුය.

 

  • ආපදාවන්ට මුහුණ දීමේදී සන්නද්ධ හමුදාවන් සමඟ ඔවුන්ගේ භූමිකාව ප්‍රතිස්ථාපනය කිරීමට වඩා, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වැනි පවතින යාන්ත්‍රණ, ඔවුන්ගේ වරම ඉටු කිරීම සඳහා ශක්තිමත් කළ යුතුය.

 

  • දිවයින පුරා සුළි සුළං සහ අනෙකුත් ස්වාභාවික විපත් මගින් සිදුවන හානි සංඛ්‍යාව වැඩිවීම සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ ආපදා සූදානම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. දේශගුණික විපර්යාස අවම කිරීම, ආහාර සුරක්ෂිතතාව, අඛණ්ඩ සහාය සහ ණය මත පදනම් නොවන ජීවනෝපාය සහ ආපදා සඳහා යටිතල පහසුකම් අනුවර්තනය සඳහා වැඩසටහන් දියත් කළ යුතුය.

 

  • කඳුකරයේ බොහෝ පවුල් අස්ථායී බෑවුම්වල ජීවත් වෙති. සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක් වූ කුටුම්භවල අර්ථවත් සහභාගීත්වය ඇතිව ආරක්ෂිත නිවාස, ඉඩම් අයිතිය සහ ජීවනෝපාය සඳහා ස්ථාවර ප්‍රවේශය සහතික කරන දිගුකාලීන වැඩසටහනක් අවශ්‍ය වේ.

 

  • ආපදා කාලවලදී කාර්යක්ෂමව සහ අර්ථවත් ලෙස සහනයක් විය හැකි විශ්වීය සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම දියත් කරන්න.

 

  • දේශගුණික බලපෑම් සඳහා සංවර්ධනය, ආයෝජන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති තක්සේරු කිරීම සහ ආපදා කාලවලදී ඉඩම්, සම්පත් සහ ජනතාවට අවදානමට එවැනි ව්‍යාපෘතිවල දායකත්වය තක්සේරු කිරීම.

 

  • මෙම අර්බුදකාරී සන්දර්භය තුළ ණය ආපසු ගෙවීම අවලංගු කිරීමට සහ කප්පාදු ප්‍රතිපත්ති ආපසු හැරවීමට IMF සහ අනෙකුත් ණයහිමියන් සමඟ හදිසි සාකච්ඡා ආරම්භ කළ යුතුය.

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක් වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.

කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න - feministcollectiveforjustice@gmail.com

©2022 by Feminist Collective for Economic Justice. Proudly created with Wix.com

bottom of page